පොදු අනාගතයක් සහිත චීන-ශ්රී ලංකා ප්රජාවක් ගොඩනැගීමේදී මාධ්ය වගකීම අවධාරණය කෙරේ
“විශ්වාසය සහ ජයග්රාහී සහයෝගීතාව: පොදු අනාගතයක් සහිත චීන-ශ්රී ලංකා ප්රජාවක් ගොඩනැගීමේදී මාධ්ය වගකීම” යන තේමාව යටතේ පැවැති 2026 චීන-ශ්රී ලංකා මාධ්ය සහයෝගිතා සහ හුවමාරු සම්මන්ත්රණය පසුගියදා (සැප් 14) කොළඹදී පැවැත්විණි.
චීන හා ශ්රී ලංකා මාධ්ය ක්ෂේත්රයේ වෘත්තීයවේදීන්, මාධ්යවේදීන්, විශ්වවිද්යාල ආචාර්ය-මහාචාර්යවරුන් සහ දෙරටේ විවිධ ආයතන නියෝජනය කරන සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්රණය පැවැත්විණි.
මෙම සම්මන්ත්රණය සමකාලීන චීන සහ ලෝක අධ්යයන පිළිබඳ පීඨය (Academy of Contemporary China and World Studies – ACCWS) සහ ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සත්කාරකත්වය දරන ලද අතර, දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා යුනාන් ජාත්යන්තර සන්නිවේදන මධ්යස්ථානය (YICC) සහ ශ්රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය (ASLCSCC) විසින් සංවිධානය කරන ලදී.


සම්මන්ත්රණය අමතමින් ශ්රී ලංකාවේ චීන තානාපති අතිගරු වේයි හුආශියැං මහතා (H.E. Wei Huaxiang), චීනය සහ ශ්රී ලංකාව අතර අන්යෝන්ය අවබෝධය, ජනතාව අතර සබඳතා සහ ප්රායෝගික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා මාධ්යයට ඇති වැදගත් කාර්යභාරය අවධාරණය කළේය.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වගකීම්සහගත හා වෘත්තීයමය මාධ්ය භාවිතයක අවශ්යතාවද තානාපතිවරයා අවධාරණය කළේය.


මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මිය, ශ්රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මාධ්ය ක්ෂේත්රයට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළාය.
එමෙන්ම, දෙරට අතර මාධ්ය තාක්ෂණික සහ වැඩසටහන් හුවමාරුව, මාධ්යවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා වර්ධනය කිරීම සහ වගකීම්සහගත මාධ්ය භාවිතය ප්රවර්ධනය කිරීම කාලීන අවශ්යතාවක් බවද ඇය පෙන්වා දුන්නාය.


චීන හා ශ්රී ලංකා මාධ්ය ආයතන අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම, වෘත්තීය අත්දැකීම් හුවමාරු කර ගැනීම, මාධ්යවේදීන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර අන්යෝන්ය අවබෝධය හා මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම සම්බන්ධයෙන්ද සම්මන්ත්රණයේදී අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ චීන තානාපති අතිගරු වේයි හුආශියැං, සමකාලීන චීන සහ ලෝක අධ්යයන පිළිබඳ පීඨයේ නියෝජ්ය සභාපති ෆෑන් දාචී (Fan Daqi), බීජිං නෝමල් විශ්වවිද්යාලයේ BRICS සහයෝගිතා පර්යේෂණ මධ්යස්ථානයේ අධ්යක්ෂ මහාචාර්ය වං ලෙයි (Wang Lei), ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා සහ ශ්රී ලංකා-චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ නියෝජ්ය සභාපති දුනිල් හෙයියන්තුඩුව ඇතුළු දෙරටේ මාධ්ය ආයතනවල ප්රධානීහු සහ නියෝජිතයෝ සහභාගී වූහ.


මීට අමතරව, දෙරටේ මාධ්යවේදීන්, විශ්වවිද්යාල ආචාර්ය-මහාචාර්යවරුන් සහ විවිධ ක්ෂේත්ර නියෝජනය කරන සම්භාවනීය නියෝජිතයෝ රැසක්ද මෙම සම්මන්ත්රණයට එක්ව සිටියහ.
මෙම සම්මන්ත්රණය මගින් චීනය සහ ශ්රී ලංකාව අතර මාධ්ය සහයෝගිතාව පුළුල් කිරීමටත්, වෘත්තීය හුවමාරු ශක්තිමත් කිරීමටත්, දෙරටේ ජනතාව අතර අන්යෝන්ය අවබෝධය සහ මිත්රත්වය ගොඩනැගීමේදී මාධ්යයේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කිරීමටත් වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි.