යුනාන්හි නිල් ඇස
සොබා සෞන්දර්යයෙන් පිරි ෆුෂියන් වැව


චීනයේ යූනාන් පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවති ශ්‍රී ලංකා – චීන මාධ්‍ය සංස්කෘතික හා අධ්‍යාපන ජාත්‍යන්තර පුහුණු සැසිවාරය තුළින් තවත් සුන්දර අත්දැකීමක් ලබා ගන්නටඅපට අවස්ථාව හිමිවිය.
දහනව දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මාධ්‍ය කණ්ඩායම මෙම සංචාරය සඳහා එක්ව සිටියේ දකුණු සහ අග්නිදිග ආසියාව සඳහා වූ යුනාන් ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරාධනයෙන් සහ ශ්‍රී ලංකා – චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව තානාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතාගේ සම්බන්ධීකරණයෙනි.
සොබා සෞන්දර්යයෙන් පිරි ෆුෂියන් වැව නොහොත් යුනාන් පළාතේ නිල් පැහැති අභිරහස් ලෝකය……
චීනයේ යුනාන් පළාතේ, කුන්මින් නගරයෙන් කිලෝමීටර් 60–70ක් පමණ දුරින් පිහිටි Fuxian Lake කියන්නේ ස්වභාව සෞන්දර්යය, ඉතිහාසය සහ අභිරහස එකට මුසු වූ අපූරු ගමනාන්තයක්. නිල් මැණික් ගලක් සේ දිලිසෙන ජලය, අවට විහිදී ඇති කඳුකර පරිසරය සහ සන්සුන් වාතාවරණය නිසා මෙය චීනයේ සුන්දරම මිරිදිය වැව් අතරින් එකක් ලෙස සැලකෙනවා.
මෙම වැව චීනයේ ගැඹුරුම මිරිදිය වැව්වලින් එකකි. එහි ජලයේ පැහැදිලිභාවය ගැන ලිපි බොහොමයක් පළ වෙලා තිබෙනවා. වෙරළ තීරයේ සිට බලන විට පවා ජලය තුළ ඇති ගල් සහ ජලජ වෘක්ෂ ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඒ නිසා බොහෝ සංචාරකයන් මෙය “යුනාන්හි නිල් ඇස” ලෙසින් ද හඳුන්වනු ලබනවා.
ෆුෂියන් වැවට පැමිණෙන සංචාරකයන්ගේ වඩාත්ම ජනප්‍රිය අත්දැකීම වන්නේ බෝට්ටු සවාරියයි.
සන්සුන් ජල තලය මත සෙමින් ඇසෙන මිහිරි ගීත රාවයයි, සීතල සුළං රැළි සමඟ හරි හරියට වැටෙන වැහි පොද එක්ක බෝට්ටුවක් මෘදු ලෙස ඉදිරියට ගමන් කරන විට, දැනෙන හැඟීම ඔබට හිතා ගත හැකි ද?
ඔව්, ඒ අත්දැකීම ලබන්නට තරම් අප වාසනාවන්තයින් වුණෙමු.
සැබැවින්ම එය චීන සංචාරයේ මතක පොතට ඉහළින්ම එක් වු තවත් සුන්දරම අත්දැකීමකි.
එක අවස්ථාවක අප සියලු දෙනා ජංගම දුරකථන වලින් ඈත් වී ගැඹුරු ජලය දෙස බලා සිටියෙමූ. දුරකථනයේ කැමරාව හරහා වෙනුවට සජීවීව ඒ දර්ශනය නරඹන්නට අපට ඕනෑ විය. ෆුෂියන් වැවේ විශාලත්වය, එහි ස්වභාවික සුන්දරත්වය වචනවලින් විස්තර කළ නොහැකි තරම් ආකර්ෂණීය වෙයි.
උදෑසන හිරු කිරණ ජලය මත වැටෙන විට වැව රිදී පැහැයෙන් බැබළෙන අතර, සවස හිරු බැස යන මොහොතේ එය රන්වන් සහ තැඹිලි වර්ණවලින් හැඩවෙයි. එම දසුන බෝට්ටුවක සිට නැරඹීම සංචාරකයෙකුට ලැබිය හැකි සුන්දරම අත්දැකීම් අතරින් එකකි.
බෝට්ටු සවාරියේදී වැව වටා ඇති කඳුකර පරිසරය, වෙරළබඩ ගම්මාන සහ දුරින් පෙනෙන හරිත වනාන්තර නැරඹීමටත් අවස්ථාව උදා වෙයි. ජලය කොතරම් පැහැදිලිද යත්, ඇතැම් ස්ථානවල බෝට්ටුවෙන්ම පහළ ජල පතුලේ හැඩතල ද නිරීක්ෂණය කළ හැකියි . එම නිසා ඡායාරූප ශිල්පීන් සහ ස්වභාව ලෝලීන් අතර මෙය ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වී තිබේ.
ජලයට යට වූ අභිරහස් නගරයක්?
ෆුෂියන් වැව ලෝකයේ අවධානය දිනාගත්තේ එහි සුන්දරත්වය නිසාම පමණක් නොවේ. 2001 වසරේදී වැවේ පතුලේ විශාල ගල් ව්‍යුහ සහ පැරණි ගොඩනැගිලි අවශේෂ හමු වීමත් සමඟ වැව තවත් ප්‍රසිද්ධියට පත් විය.
පර්යේෂකයන්ගේ අදහස අනුව එම ව්‍යුහ පුරාණ ශිෂ්ටාචාරයක හෝ පැරණි නගරයක නටබුන් විය හැකි නමුත් ඒවා කාට අයත්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නම් නැත.
ඒ වගේම මෙහි ජලය ඉතා පිරිසිදු බැවින් බීමට සුදුසු බවත් තහවුරු කරගෙන තිබේ. නාගරික කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී ස්වභාව සෞන්දර්යය සමඟ කාලය ගත කිරීමට කැමති අයෙකුට ෆුෂියන් වැව නිවැරදිම තේරීමයි. නිල් පැහැති ජලය, පිරිසිදු වාතය, සන්සුන් පරිසරය සහ බෝට්ටු සවාරිවලින් ලැබෙන අපූරු අත්දැකීම් නිසා මෙය චීනයේ අමතක නොවන සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇති.
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් ලෙසත්, ඉතිහාසයේ තවමත් නොවිසඳුණු අභිරහසක් ලෙසත්, ෆුෂියන් වැව අද ලොව පුරා සංචාරකයන්ගේ සිත් ඇදගන්නා නිල් පැහැති ස්වර්ගයක් ලෙස දිලිසෙමින් පවතී.
මල්ශ්‍රී අමරසිංහ – මාධ්‍යවේදී